ශ්‍රී ලංකාවේ භාවිතා වන ඉඩම් ඔප්පු වර්ග සහ ඒවා විකිණීමේදී වැදගත් වන කරුණු.

ඇත්තටම ඉඩමක් කියල අදහස් කරන්නේ ඒ භූමියත් ,ඒ තුළ පිහිටි ගහකොළ සහ ඉදිකිරීම් යන සියල්ලේම එකතුවක් වෙනවා.ඉඩම් ඔප්පු ලිවීම ආරම්භ වන්නේ අපේ රට සුදු ජාතිකයින් විසින් පාලනය කරන සමයේ සිටයි.ඔවුන් හිමිකම් පෙන්විය හැකි ඉඩම් ඒ ඒ අයිතිකරුවන්ට ලබාදී ඉහිරි ඉඩම් රජයට පවරාගෙන තිබෙනවා.නමුත් පසු කාලීනව මුඩු බිම් ආඥා පනත සහ ඉඩම් නිරවුල් කිරීමේ පනත අනුව ඉඩම් ප්‍රධාන කොටස් දෙකකට බෙදා තිබෙනවා.ඒය පහත ලෙස දැක්විය හැකියි.


• සින්නක්කර ඉඩම් – මෙයට පුද්ගල ඉඩම්,සන්නස් ඉඩම්,විහාරගම් සහ දේවාල ඉඩම් යන සියල්ල ඇතුළත් වෙනවා.
• රජයේ ඉඩම් – මෙය ඉහත ඉඩම් වර්ග හැර රජයට අයත් ඉඩම් වර්ග සියල්ල ඇතුළත් වෙනවා.
මෙම ඉඩම් වලද බෙදා දිය හැකි හා බෙදා දිය නොහැකි ලෙස ඉඩම් වර්ග දෙකකට බෙදී යනවා.
නමුත් මෙහිදී අපි සලකා බලන්නේ රජයට අයිති නොවන ඉඩම් වල ඔප්පු පිළිබඳවයි.මෙහිදී සින්නක්කර ඔප්පුවක් යනුවෙන් අදහස් වෙන්නේ “සින්නක්කර පෞද්ගලික ඉඩමකට නොතාරිස්වරයෙකු විසින් ලියන ලද සහතික කරන ලද ලියවිල්ලයි”.ඒ වගේම සින්නක්කර ඔප්පු වලට අමතරව නිදහස් ඔප්පු,ස්වර්ණභූමි,ජයභූමි,ඉසුරුභූමි,රන්බිම ඔප්පු සහ නව දීමනා පත්‍ර ලෙස තවත් ඔප්පු වර්ග කිහිපයක්ම පවතිනවා.මේවා විවිධ කාලයන් හිදී විවිධ රජයන් විසින් ලබා දෙන දීමනා පත්‍ර ලෙස සැලකුවොතින් වඩා නිවැරදියි.
ඇත්ත වශයෙන්ම මේ පිළිබඳ දළ වශයෙන් සලකා බැලුවොත් ලංකා භූමියේ පවතින ඉඩම් වලින් 20%ක් පෞදගලික ඉඩම් එනම් සින්නක්කර ඔප්පු සහිත ඉඩම් වන අතර ඉතිරි 80% රජය සතු ඉඩම් වනවා.මෙලෙස ඉඩම් බෙදී යාමට හේතු පාදක වන්නේ අපේ යටත් විජිත ඉතිහාස සමයේදී,එනම් බ්‍රිතාන්‍ය පාලන සමයේදී අපගේ ස්වං පෝෂිත ආර්ථිකය බිඳ වැටී,වැව් අමුණු සහ වගාවන් විනාශ වී ගොස් රට අස්ථාවර වීමයි.එනම් එම හානිය වැළැක්වීම සඳහා නැවත වගාවන් ඇරඹීමට රජය විසින් නොමිලයේ ගොවි ජනතාව උදෙසා තම ගොවිතැන් කර ගැනීමට ඉඩම් පවරා දී තිබෙනවා.


මෙය ආරම්භ වන්නේ 1927 දී රාජ්‍ය කතිකාවතක් තුළින්ම ලංකාවේ ප්‍රථම ඉඩම් කොමිසම බිහිවීමත් සමගයි.එමගින් ශ්‍රී ලංකාවේ ඉඩම් කලමනාකරණය කර බිඳ වැටී ඇති කෘෂි ආර්ථිකය ඉහළ නංවන්නටත් පියවර ගන්නවා.මේ නිර්දේශය සමග 1931 දී මේ සම්බන්ධ මුල්ම රජයේ ආයතනය වන “ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව” බිහි වනවා සමගම සියළු රජයේ ඉඩම් වල කලමනාකාරීත්වය එය සතු වනවා.මෙලෙස කාලයත් සමග විවිධ අණ පනත් හරහා ඉඩම් හිමි ගොවි පන්තියක් බිහි කිරීමේ අරමුණින් මෙම නීතීන් නූතනය දක්වා විකාශනය වී තිබෙනවා.


එසේම 1972 දී අංක 1 දරණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභා පනත කරලියට ඒමත් සමග අක්කර 50ට වැඩි සියළුම පෞද්ගලික ඉඩම් රජයට පවරා ගන්නවා.ඒ සමගම මේවා නැවත පුද්ගලයන් අතර බෙදා හැරීමේ අවශ්‍යතාවයක්ද පැන නගිනවා.ඒ සමගම මෙයට අදාල නීති කෙටුම්පත්ද නිර්මාණය වී තිබෙනවා.මෙසේ රජයේ ඉඩම් ගොවි පාංතිකයින් සඳහා බෙදා දීමේ දී එනම් ස්වර්ණ භූමි,ජය භූමි,රන් බිම සහ නව දීමනා පත්‍ර යන බලපත්‍ර ලබාදී තිබෙනවා.මේවා නම් වශයෙන් විවිධ වූවත් මේ සියලු දීමනා පත්‍ර පවතින්නේ එකම නීතියක් යටතේයි.එනිසා මෙහි සැබෑ අරුත නම් මෙම බලපත්‍ර සහිත ඉඩම් රජයේ ඉඩම් වන අතර ,මේවා නොමිලයේ පවරා දීම සිදු කර ඇති නිසා රජයේ අනුදැනුමකින් තොරව ඔබට මෙවන් බලපත්‍ර සහිත ඉඩම් වෙනෙකෙකුට පවරා දිය නොහැකි බවයි.නමුත් සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් විකිණීමේදී කිසිදු ගැටළුවක් ඇති නොවේ.නමුත් බලපත්‍ර සහිත ඉඩම් ඔබට විකිණීමට නොහැකි මුත් යම් යම් අවශ්‍යතාවයන් සඳහා යම් අයෙකුට පැවරීම සිදු කල හැකියි.නමුත් එහිදී සැපිරිය යුතු කොන්දේසි කිහිපයක් තිබේ.


මෙම ඉඩම් පවරා ඇත්තේ ගොවි පාන්තිකයන්ට වේ.එනම් ගොවි පාංතිකයා යනු “ඉඩමක් වගා කිරීමට කැමැත්ත ඇති ,වගා කිරීමේ හැකියාව ඇති,තමන්ගේ පවුලේ කෙනෙකු ලවා එම ඉඩම වගා කරවිය හැකි හෝ තමන්ගේ පවුලේ ජීවනෝපාය වෙනුවෙන් මේ ඉඩම අවශ්‍ය වන කෙනෙකුයි.එනිසා මෙහි කොන්දේසි බොහෝමයක් “ගොවියා” යන වචනය වටා සෑදී තිබෙනවා.එනම් රජයේ මූලික පරමාර්ථය මෙම ඉඩම් ගොවියාගේ ජීවන උපාය තකා ලබා දීමයි.නමුත් මෙම ඉඩම් පැවැරිය හැකි කොටස් දෙකක්ද පවතිනවා.


• පවුලේ කෙනෙකුට,එනම් ලේ ඥාතියෙකුට මෙය පැවරීම සිදු කල හැකියි.(නමුත් විවාහ බන්ධනයන්ට අදාල ඥාතින් මෙයට අදාල නොවේ)


• පවුලෙන් පිට අයෙකුට මෙය පවරනවා නම් එම තැනැත්තා අඩු ආදයම් ලාභී ගොවි පාන්තිකයෙකු විය යුතුයි.


මෙසේ පවුලෙන් පිට කෙනෙකුට මුදල් පරමාර්ථයකින් හෝ වෙනයම් අරමුණකින් වේවා මෙම ඉඩම් පවරන විට තමන්ට මේ ඉඩම හැරෙන්නට වෙනත් ඉඩම් පවතින බව බලපත්‍රයේ වර්තමානයේ අයිතිකරු විසින් තමාගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් තුමාට ඔප්පු කර පෙන්විය යුතුයි.එයට හේතුව,තමාගේ යැපීම පිණිස පවරා ඇති මෙම ඉඩම වෙන අයෙකුට පවරා දීමෙන් තමාගේ පවුල අනාථ භාවයට පත් නොවන බව බලපත්‍රයේ හිමිකරු ප්‍රාදේශීය ලේකම් තුමා වෙතට ඔප්පු කර පෙන්විය යුතු වීමයි.එසේම මෙවන් ඉඩම් වැඩි ආදායම් ලබන්නන්ට හෝ ව්‍යාපාරික හෝ රජයේ සේවකයන්වැනි අයවළුන්ට පැවරිය නොහැකියි.එසේම ඔබේ ඉඩම් පැවරීම පිළිබඳව ප්‍රාදේශීය ලේකම් තුමා සෑහීමකට පත් විය යුතුයි.


එසේ පවරනවානම් බලපත්‍ර ලාභී ඉඩම් හිමියා ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් තුමාගෙන් ඉල්ලීමක් සිදු කල යුතු වනවා.ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ඉඩම් අංශයේ සිටින ජනපද නිළධාරී සහ ග්‍රාමසේවක හරහා ඔබට මේ සම්බන්ධ තොරතුරු ලබා ගත හැකියි.