Home Blog Properties නිවසක් හදන්න හොඳම ඉඩමක් හොයාගන්නෙ මෙහෙමයි..(01 කොටස)
නිවසක් හදන්න හොඳම ඉඩමක් හොයාගන්නෙ මෙහෙමයි..(01 කොටස)

නිවසක් හදන්න හොඳම ඉඩමක් හොයාගන්නෙ මෙහෙමයි..(01 කොටස)

ඔබ නිවසක් හෝ යම් ගොඩනැගිල්ලක් තනන්නේ ජීවිතයේ එක් වරක් විය හැකියි. එය ඔබගේ ජීවිත කාලයම ගෙවීමට නියමිත ආදරණීය කැදැල්ල, එය “නිවස”හෝ “ගර” යනුවෙන්ද හඳුන්වනු ලබනවා. නිවස යන්නෙහි “ නි” මගින් “නිවැරදි” යන්නද, “ ව” මගින් “වසන තැන” ද , එනම් “ නිවැරදිව වසන තැන” යනුවෙන් එය හැඳින්වෙනවා.එනිසා ජීවිත කාලය පුරාවටම වෙසෙන ඔබේ සොඳුරු නිවහන සහ ඉඩම හරියටම තෝරගන්න වාස්තු ශාස්ත්‍රය උපකාරී වන අයුරු  මෙම ලිපි පෙල පුරාවටම සඳහන් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

ඇත්තෙන්ම අපි ඉඩමක් විදියට කොටසක් වෙන් කරල ලබාගන්නෙත් පෘථිවියේ පඨවි ධාතුවට අයත් කොටසකුයි.නමුත් බොහෝ විට  ඔබ ඉඩමක් සොයන විට සලකා බලන්නෙ ජල පහසුකම්,විදුලිය, තමන්ගේ රැකියා ස්ථානයට, දරුවාගේ පාසලට ඉක්මනින් ලඟා වීමේ පහසුව ආදී භෞතික කරුණු කාරණා පිළිබඳවයි. නමුත් එයට අමතරව ඔබගේ වාසස්ථානයට බලපාන  සොබාදහමේ ශක්තීන් සමග ගණුදෙනු කරන්නේ කෙසේද සහ එම  ශක්තීන් තුලනය කරන්නේ කෙසේද යන්න වාස්තු ශාස්ත්‍රය මගින් ඔබට දැනගත හැකියි.

ඇත්තටම මේ “වාස්තු විද්‍යාව” කියන්නෙ මොකක්ද?

වාස්තු කියන වචනය සංස්කෘත භාශාවේ එන “වාස්තව්‍ය” එනම් “වාසය කිරීම” යන අරුත් දෙන වදනින් බිඳී ආවක් ලෙස සඳහන් වෙනවා. එනම් තම ඉඩම සහ නිවසේ “ වාසය කිරීමේ කලාව”- වාස්තු යනුවෙන් හඳුන්වනු ලබනවා. එනම් පඨවි (පොළව), ආපෝ(ජලය), තේජෝ(උෂ්ණත්වය), වායෝ(වායුව) යන ශක්තීන් සහ ඊට අදාල කිරණයන් මනා ලෙස තුලනය කර වාසයට සුදුසු ලෙස සැකසීම වාස්තු ශාස්ත්‍රය මගින් සිදු වෙනවා.

වාස්තු ශාස්ත්‍රය (වාස්තු විද්‍යාව) ඇතිවුනේ මෙහෙමයි.

ලෝකය තුල විදු ඇස, සෘෂි ඇස, බුදු ඇස නමින් ඇස් 3 ක් පවතිනවා.ඉන් විදු ඇස නම්  විද්‍යාඥයින් විසින් පරීක්ෂණ සහ නිගමන මගින් සොයා ගත් දැනුමයි.සෘෂි ඇස නම් අතීත සෘෂි වරුන් විසින් තම චිත්ත ශක්තිය මෙහෙයවා සොයාගත් දැනුම වන අතර එයට වේද ශාස්ත්‍රයන් අයත් වනවා. වේද ශාස්ත්‍රයන් 64 ක් පවතින අතර “වාස්තු වේදය” ඉන් එක් කොටසක් වනවා.බුදු ඇස නම් විශ්වීය දැනීම සම්බන්ධව සර්වඥතා ඤාණය මගින් ලබා ගත් දැනුමයි.

එමෙන්ම වාස්තු යනු චිත්ත ශක්තිය, විශ්ව ශක්තිය( අහස, පොළව, ජලය, ගින්දර), ගුප්ත ශක්තිය(ඉන්ද්‍රියන්ට ගෝචර නොවන ශක්තිය) සහ යාන්ත්‍රික ශක්තිය(යන්ත්‍ර සූත්‍ර මගින් ලැබෙන ශක්තිය) යන ශක්තීන් වලින් විශ්ව ශක්තිය යන කොටසට අයත් වන අකාලික ශාස්ත්‍රයක් වනවා. එනම් වාස්තු ශාස්ත්‍රයෙන් සිදු කරන්නේ අනවශ්‍ය ශක්තීන් ඉවත් කර හිතකර ශක්තීන් ලඟා කර දෙමින් ඔබට සතුටින් ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකසා දීමයි. මෙහිදී ඔබගේ නිවස තැනීමට පළමුවෙන්ම ඉඩමක් අවශ්‍ය වනවා.එනම් ඉඩමක් සෙවීමේදී සැලකිය යුතු කරුණු කාරණා බොහෝමයක් වූවත් ඉන් මූලික කාරණයක් වන්නේ ඉඩමේ හැඩයයි.

ඉඩමක හැඩය අපට බලපාන්නේ කෙසේද සහ ඊට වෙනස් හැඩයකින් සහ ලක්ෂණයන්ගෙන් යුත් ඉඩමක් නිවැරදිව සොයාගන්නා ආකාරය පිළිබඳව අනෙක් ලිපියෙන් අපි සාකච්ඡා කරන්නෙමු.

Add comment

Sign Up to receive the latest Updates and News

© 2022 idam.lk (pvt) LTD All Rights Reserved.